සරසවි පවුරෙන් මෙහා ලෝකයෙන්…
හදිසියේ යන එන අතරමගදී මුණ ගැහෙන tuk tuk ජීවිතවල කතන්දර ලියල තියන්න ඕනේ කියන අදහස මගේ හිතේ පැලපදියම් වෙන්න හේතුකාරණා වෙච්ච කතන්දරයක් තමයි අද කියන්න යන්නේ…
මේ කතාවේ කතා නායකයා මං ගොඩක් කල් ඉඳන් හඳුනන ත්‍රීවීල් අංකල් කෙනෙක්..
සිසුවියක් සහ ආචාර්යවරියක් විදිහට ජපුර සරසවියේ ගතකරපු අවුරුදු දහයක විතර කාලසීමාව ඇතුළත මේ අංකල්ගෙ ත්‍රීවීල් එකේ මම බොහෝ වාර ගණනක් ගමන් කරලා ඇති…
ඒත් මගේ හිතේ පැලපදියම් වුණු මේ කතාබහ සිද්ධ වෙන්නේ අවුරුදු දෙකක විතර විරාමයකට පස්සේ මට හදිසියේ මේ ත්‍රීවීල් අංකල් මුණ ගැසීමත් එක්ක…
“ මිස් කාලෙකට පස්සේ.. දැන් මෙහෙ නෙමෙයිද වැඩ කරන්නේ?”
මම රථයට ගොඩ වුණු ගමන් ඔහු එක පාරටම ඇහුවා..
ඔහුගේ තියුණු මතකය ගැන මට පුදුමත් හිතුනා…
“ අංකල්ට මාව මතකයි නේද?”
“මොකද මිස් මට මතක නැත්තේ? මිස් ඉස්සර මාත් එක්ක නිතරම යනව එනව නේ..”
“දැන් අවුරුදු දෙකකින් විතර තමයි මම කැම්පස් එකට ආවේ… මං හිතුවේ නෑ අන්කල් මාව අඳුන ගනී කියලා…”
“මට මතකයි.. මං මිස්ව ගෙදරත් ගිහින් බස්සලා තියෙනවා නේ…” ඔහු සිනාසෙමින් කියනවා..
වැඩිදුර අධ්‍යාපනයට විදේශගතවීම සඳහා ජ'පුර සරසවියේ රැකියාවට සමුදුන් දවසේ මගේ පොත් පත් මිටිය ගෙදරට රැගෙන ගියෙත් අංකල්ගෙ ත්‍රිවිල් එකේ බව මට මතක් වුණා..
“ කැම්පස් එක ඇතුලේ සමහර අයටත් මාව අඳුනගන්න බැරි වුණා… ඒත් අංකල්ට මතකයි” මම සිනාසෙමින් කිව්වා…
“ මම එහෙම තමයි මිස්… මට මුණගැහෙන ගොඩක් අයව මට අමතක වෙන්නේ නැහැ.. ඒ වගේම තමයි ගොඩක් අයට මාව අමතක වෙන්නෙත් නැහැ….”
ඒකනම් ඇත්ත කියලා මටත් හිතුනා…
“මිස්ට කියන්න මේ ලගදි පුදුම සිද්ධියක් වුණා.. දැනට අවුරුදු කිහිපයකට උඩදී මේ කැම්පස් එකේ ඉගෙන ගත්ත පිරිමි ළමයෙක් හිටියා… සල්ලි අමාරු නිසා ඒ කාලේ මම පොඩි කෑම පැකට් බිස්නස් එකකුත් කළා.. ඉතින් මගෙන් තමයි ඒ ළමයා කෑම ගත්තේ.. සමහර දවස්වලට ණයටත් කෑම අරගෙන යනවා… මමත් ඉතින් ණයට කෑම දෙනවා… අමාරුවෙන් ඉගෙන ගත්ත දරුවෙක් බව මට පෙනුනා...කොහොමහරි මාසෙ අන්තිමට මට ණයත් බේරුවා… ටික කාලෙකින් මට අසනීප වෙලා කෑම බිස්නස් එකයි ත්‍රීවිල් රස්සාවයි දෙකම ටික දවසකට නැවතුණා…. ඊට පස්සේ මම මේ දරුවව දැක්කේ නැහැ..
මේ ළඟදී දවසක මම හදිස්සියෙන් මේ ළඟ තියෙන ටියුෂන් පන්තියකට හයර් එකක් ගියා… එතන මේ දරුවා හිටියා.. එයා එකපාරටම මාව අඳුන ගත්තා.. විස්තර කතා කරලා ‘එන්නකෝ අංකල් ටිකක් මාත් එක්ක’ කියලා මාව පඩිපෙලක් දිගේ උඩට එක්කන් ගියා… බලනකොට මේ ගිහිල්ල තියෙන්නෙ එයාගෙ ටියුෂන් ක්ලාස් එකට… ළමයි සියගානක් එතන ඉන්න ඇති… මේ දරුවා මාව ස්ටේජ් එක උඩට එක්කන් ගිහින් පන්තියට අඳුන්නලා දුන්නා…
‘මේ මං විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ මට හුඟක් උදව් කරපු අන්කල් කෙනෙක්… මේ අංකල්ගෙන් විතරයි මට ණයට කෑම ගන්න පුළුවන් වුණේ… අංකල් නැත්නම් සමහරවිට මම අද මෙතන නොඉන්නත් තිබුණා..’ කියලා මේ සර් පන්තියට කිව්වා… පන්තියෙ ළමයි හැමෝම අත්පුඩි ගැහුවා… මගේ ඇස් දෙකට කඳුළු ආවා මිස්.. ඒ මගේ ජීවිතේ මං ගොඩක්ම සතුටු වෙච්ච දවසක් … ඒවගේ නිහතමානී මිනිස්සුත් ඉන්නව මිස්”
ඔහුට හූමිටි තියන ගමන් ඒ කතාව ආසාවෙන් අහගෙන හිටපු මගේ හදවත ඇතුලෙනුත් කඳුළු නැඟුණා…
ඒ වගේ සොඳුරු අගයකිරීමක් ලද මේ මහලු රියදුරා කොතරම් සතුටු වෙන්නට ඇද්ද? අගය කිරීම් කියන්නේ බොහෝ විට ඔවුන්ට ඉතා කලාතුරකින් ලැබෙන දෙයක්..
“ ඉතිං කොහොමද අංකල් දැන් කැම්පස් එක ගොඩක් ලස්සන වෙලා නේද?” කතා බහ අතරතුර මම ඇහුවා.
“ඔව් මිස්.. අලුතින් ලස්සන කරලා හැදුවානේ.. අපිට ටික දවසකට බිස්නසුත් අඩු වුණා.. තාප්පෙ කඩනකොට අපිට වෙන තැනකට යන්න වුනානේ… ඒත් කමක් නෑ දැන් කැම්පස් එක ලස්සනයි… ඉස්සරට වඩා හරි පිළිවෙලයි නේද මිස්?”
ජීවිත කාලය පුරා ම ඔහුට හරි හම්බ කර ගන්න උදව් කරපු විශ්වවිද්‍යාලය ගැන ඔහු තුළ තිබෙන්නේ ආදරයක්… ඔහුගේ හඬේ තිබුණේ ලෙන්ගතු බවක්… හරියට තමන්ගෙ දෙයක් ගැන කතා කරනවා වගේ… තමන් සේවය කරන ආයතනය පිළිබඳවවත් හොඳක් නොකියන බොහෝ දෙනා ඉන්න රටක මේ වියපත් මිනිසාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා නේද කියලා මට හිතුනා…
විශ්වවිද්‍යාලය ගැන විතරක් නෙමෙයි ඒකෙ ඉගෙන ගන්න දරුවෝ ගැනත් ඔහුට කැක්කුමක් තියෙනව කියලා දැන ගත්තේ ඔහු සමග තව ටිකක් කතා කරද්දි…
“ මේ දවස්වලත් කැම්පස් එකේ පිකටින් එකක් යනව වගේ නේද අංකල්?” මම ඇහුවේ විශ්වවිද්‍යාලයේ ගේට්ටුව ඉස්සරහ සුපුරුදු දර්ශනයක් වුණු කළු කොඩි සහ සටන්පාඨ රැගත් පුවරු සහිත තාවකාලික හට් එකක් තුළ සිටි සිසු සිසුවියන් පිරිසක් එදත් දකින්න ලැබුණු නිසයි..
“ අනේ ඔව් මිස්… ඒ දරුවොත් පව්.. රැයක් දවාලක් නැතිව ඔතනට වෙලා ඉන්නවා… ඒත් එයාල කියන දේවල් අහන්න කවුරුහරි ඉන්නවද කියලා තමයි ප්‍රශ්නෙ.. ඒගොල්ලන්ගේ අරගලේ හරි වැරැද්ද කියන්න තරම් මම ඉගෙන ගෙන නැහැ… ඒත් මේ ඉන්නෙ රටේම ඉන්න බුද්ධිමත්ම දරුවො ටිකනෙ මිස්… ඔය කාලෙ තවත් හොදට ඉගෙනීමට යෙදෙව්ව නම් හොඳයි කියල මට හිතෙනවා.. ඔතනට එන්න බැරුව කීදෙනෙක්නම් ළත වෙනවාද?”
ඔහු කියාගෙන යනවා.. හිතේ තෙරපෙන අදහස් දහසක් එක්ක මම ඔහුට තවත් කතා කරන්න ඉඩ දුන්නා…
“ කැම්පස් එකකට එන්න කොච්චර නම් අමාරුද මිස්? කීයෙන් කී දෙනාටද ඒ වාසනාව ලැබෙන්නේ? හැමදේම නොමිලේ ලැබෙනවනේ… ඒ අවස්ථාව ලැබෙන්නේ නැති ගොඩක් දරුවන්ගේ දෙමාපියන්ට තනියම වියදම් කරලා තමන්ගේ දරුවන්ට උගන්වන්න අමාරුයි.. මගේ දුවටත් කැම්පස් යන්න බැරි උනා මිස්… එයාව ප්‍රයිවට් කැම්පස් එකකට යවලා උගන්නන්න මට සල්ලි නැහැ.. දැන් එයා රස්සාවක් කරන ගමන් බාහිර උපාධිය කරනවා..
ඉතින් මේ දරුවෝ මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් මීට වඩා ප්‍රයෝජනයක් ගන්නවා නම් කොච්චර හොඳද නේද මිස්?”
ඔහුගේ හඬ බොහොම සංවේදියි.. ඒ හඬේ තරහක් තිබ්බෙ නැහැ… තමන්ගෙ දරුවට නොලැබුණු අවස්ථාව හරිහැටි ප්‍රයෝජනයට ගන්නේ නැති සමහර විද්‍යාර්ථීන් ගැන තරහින් කතාකරන දෙමව්පියෝ මට මුණගැහිලා තියෙනවා… ඒත් මොහු ඊට වැඩිය වෙනස්... ඒ දරුවො වෙනුවෙන් ඉපැදුණු අවංක අනුකම්පාවක් ඔහු තුළ තිබුණු බව මට දැනුනා…
ඒත් එක්කම මේ තාත්තා ඇතුළු අපේ රටේ බොහොමයක් දෙමව්පියන්ගෙ මේ කතාව විශ්ව විද්‍යාලයේ තාප්පෙන් ඇතුළේ ඉන්න දරුවන්ට ඇහෙනවා නම් කියලා මට හිතුණා.. එතකොට ඔවුන් තමන්ට ලැබිලා තියෙන අවස්ථාවෙ වටිනාකම වඩාත් හොඳින් තේරුම් ගනීවි….
ඉතින් ඉස්සර වගේම පරිස්සමෙන් ඔහු මාව ගෙදර ගෙනත් බැස්සුවා… හැමදාම දකින දේවල් දිහා වෙනත් ඇසකින් බලන්න මට නිමිත්තක් ඉතුරු කරලා ඔහු යන්න ගියා.. අපට මඟ තොටදී හමුවන අප්‍රසිද්ධ මිනිස්සු ලඟ තියන මේ සොඳුරු අදහස් කවදහරි අකුරු කරන්න ඕනෑ කියන හැඟීම මට මුලින්ම දැනුනේ එදා… ඉතින් අද මම ඒ හැඟීම් වචන බවට පත් කළා..
ඉතිරිය ඔබට බාරයි.. කියවන්න…. විඳින්න… ඔබේ අදහස් දක්වන්න… මේ තවත් Tuk Tuk ජීවිත කතාවක්...
