Pages

Saturday, 2 June 2018

සොඳුරු සිතැති රියැදුරාණෝ....


මේ කතාව ටික කලකට ඉහතදී සිදුවුණු දෙයක්...
සතියෙ දවසක්.. වෙලාව සවස හතරට විතර ඇති...
ගෙදර එන්න පොඩි හදිසියක් තිබුණු නිසා සුපුරුදු පරිදි ත්‍රිරෝද රථයක් විශ්වවිද්‍යාලය අසලටම ගෙන්ව ගෙන එන්න පිටත්වුණා..
හැමදාම වගේ පාර තොටේ සාමාන්‍ය විස්තර ගැන රියදුරු සමග දොඩමළු වෙමින් ආවා..
දෙහිවල හරිය පහු කරද්දි එක පාරටම අතුරු පාරකින් ආපු ත්‍රීවීල් එකක් අපේ වාහනේ ඉස්සරහින් පාරට දැම්මා..
අපේ රියදුරු මහත්තය ලොකු උත්සාහයක් දරලා වාහනේ අයින් කරගෙන සිදු වෙන්න ගිය අනතුර වළක්වගත්ත...
අනෙක් වාහනේ රියදුරු ගැන කේන්තියක් මගේ හිතෙත් ඇති වුණා..
" කොහෙ යනවද මන්දා" මම නොරිස්සුමින් හිතුවා... අපේ රියදුරු මහත්තයාටත් තරහ යන්න ඇති..
පාරෙතොටේ තියෙන අත්දැකීම් එක්ක දැන් දැන් වචන හුවමාරුවක් ඇති වෙයි කියලා බලාපොරොත්තුවෙන් මං ඔහුගේ මූණ බැලුවා...
ඒත් නැහැ. හෝන් එක ගහල අනෙක් වාහනේ රියදුරුට සුහදතාව පළ කරපු අපේ රියදුරු මහත්තයා හෙමින් වාහනේ ඉස්සරහට ගත්තා...
" හැමෝටම හදිස්සියිනෙ මිස්.. මං නං ඔය වගේ වෙලාවට හදිස්සි අයට ඉඩ දෙනවා... එයාලට ඉක්මනට යන්න දීල මගේ පාඩුවේ මම යනවා..."
ඔහු හිනාවෙමින් කියනවා... මම පුදුම වුණා... අනෙක් ත්‍රීවීල් රියදුරු ගැන මම හිතපු දේ වචනවලට පෙරලුවේ නැත්තෙ හොඳ වෙලාවට කියලා මට හිතුණා..
"ඒකත් ඇත්ත.. එහෙම නැතුව දැන් මේ පාරවල්වල යන්න අමාරුයි.. "
ඉවසීම ගැන ඔහුගෙන් ඉගෙන ගත්ත පාඩම මම හිතේ ධාරණය කරගනිමින් මම කිව්වා...
"ඕවා මොනවද මිස්... අපට ජීවිතේ කඩා වැටෙන්න කොච්චර දේවල් වෙනවද? මිස්ට කියන්න මම හොඳට බිස්නස් කරපු සල්ලි අතගාපු කෙනෙක්.. මම කළේ මැණික් බිස්නස්.. කෝටි ගණන් අතගාල ඇති.. ඒත් එකපාරටම නොහිතපු විදියට බිස්නස් කඩාගෙන වැටුණා... ඉතින් මොනව කරන්නද මිස්... මම ත්‍රීවිල් එකක් අරගෙන පාරට බැස්සා...
ඔහු දිග කතාවක් කියන්න පටන් ගත්තා...
"මගේ වයිෆ් ගුරුවරියක්.. සාමාන්‍ය පඩියක් ගන්නවා.. ඒත් මම කවදාවත් එයාගෙ සල්ලි ගන්නෙ නැහැ.. එයාගේ හැම වියදමක්ම කරන්නේ මම.. මම ආස එහෙම කරන්න.. එයාගෙ සල්ලි ඉතුරු කරගන්න දෙන්න ඕනෙ.. මම ඉන්නකම් එයාට කන්න බොන්න දීලා හොඳට බලාගන්න ඕනෙ... "
ඔහු කොතරම් සුන්දර ආදරණීය මිනිසෙක් දැයි මට හිතුනා... ඉතින් ඔහු දිගටම කතා කළා..
" මගේ වයිෆ් හරිම හොඳයි මිස්.. මගේ බිස්නස් වැටුණම එයා මට ලොකු හයියක් වුණා...මම සල්ලි තියෙන කාලෙ එයාව ඩුබායි එක්ක ගිහින් අරන් දුන්නු රත්තරන් බඩු ඔක්කොම එයා මට ආපහු දුන්නා විකුණලා සල්ලි ගන්න කියලා... ඒ සල්ලිවලින් තමයි මම ණය බේරලා ත්‍රීවීල් එක ගත්තෙ.. එයා නොහිටින්න මං අද මෙහෙම ඉන්න එකකුත් නැහැ.. "
තමන්ගෙ බිරිඳගෙ හොඳ පවුලේ අය එක්ක වත් කියන්නේ නැති සමහර පිරිමි ඉන්න රටේ, නන්නාදුනන මං එක්ක තමන්ගෙ බිරිඳව වර්ණනා කරන මේ අපූරු සැමියා ගැන මට පුදුම හිතුණා..
" මිස්ට කියන්න දැන් තමයි මම මගේ ජීවිතේ සතුටින්ම ගතකරන්නෙ.. සල්ලි ගොඩක් අතගාපු කාලෙට වැඩිය හරි ෆිට් එකෙන් මං දැන් වැඩ කරන්නෙ... දෑතේ මහන්සියෙන් අමාරුවෙන් හම්බ කළාම සතුට වැඩියි මිස්.. දැන් මගේ නෝන මට ඉස්සරටත් වැඩිය ගොඩක් ආදරෙයි...
හවසට මහන්සි වෙලා ගෙදර ගියාම එයා මගේ ලඟට ඇවිත් හරි ආදරෙන් කතා කරනවා...
ඒ මම වෙනදට වැඩිය මහන්සි වෙනවා කියලා දන්න හින්දා.. මට වුණු දේ ගැන කලකිරෙන්න මගේ නෝනට මං කවදාවත් ඉඩ තිබ්බෙ නෑ.. 'මොනවා නැති වුනත් කමක් නෑ මට ඔයාව නැති වුණේ නෑනේ... අපි කොහොම හරි ජීවත් වෙමු' කියලා මං එයාට කිව්වා... "
මේ සොඳුරු සැමියගෙ අව්‍යාජ කතාව මගේ හිතට පුදුම හැගීමක් ගෙනාව... අගහිඟකම් ඉස්සරහ දොරෙන් ගෙට එනකොට ආදරේ පෑල දොරින් පලා ගිය නිසා විසිරුණු පවුල් කීයක් මේ ලෝකෙ ඇත්ද? එහෙම බලනකොට මේ පවුල කොච්චර වාසනාවන්තද?
ඇත්තටම බැලුවොත් ඔහුට කිසි දෙයක් නැති වෙලා නෑ... වටිනාම සියලුම දේ ඔහු ළඟ ඉතිරි වෙලා.. විශේෂයෙන්ම ඔහුගේ රත්තරං වටින ධෛර්යවන්ත හදවත..
අපි හැමදාම කතා කරන.. සමහර වෙලාවට සල්ලි දීලත් ලබා ගන්න උත්සාහ කරන 'ධනාත්මක චින්තනය' පිළිබද ගැඹුරු ප්‍රායෝගික පාඩමක් මම මේ මහමගදී අහම්බෙන් මුණගැහුණු අපූරු මනුස්සයාගෙන් ඉගෙන ගත්තා..
කතාවෙන් කතාව අපි තවත් ටික දුරක් ආවා...
පාර අයිනේ සුඛෝපභෝගී පන්නයේ වාහනයක් නවත්තලා තියෙනවා.... කීපදෙනෙක් ඒ වටේ වටවෙලා.. අපේ රියදුරු මහත්තයා වේගය අඩු කරමින් අර වාහනය දිහාවට කර පොවල බැලුවා..
"මොකද වෙලා තියෙන්නෙ? කරදරයක්ද?" ඔහු අර වාහනේ රියදුරුගෙන් විමසුවා.
කරදරයක් නැති බවත්, හදිසි වැඩකට එතැන නතර කර ඇති බවත් අනෙක් වාහනයේ රියදුරු කියනවා ඇහුණා.. අපි ආපහු එන්න පිටත් වුණා...
" ඒ මගේ නෝනගේ මල්ලි මිස්.. එයාලට නම් අඩුපාඩුවක් නෑ.. දෙවියනේ කියලා බිස්නස් කරගෙන හොඳින් ඉන්නවා.. ඒත් ඉතිං කරදරේකදි අපි හොයල බලන්න එපැයි.. ඒකයි මං නතර කරලා ඇහුවෙ.. " ඔහු කියනවා..
ඔහුට හූමිටි තියන ගමන් මං සිතුවිලි අතර අතරමං වුනා...
තමන්ට ඇති තරම් සැප සම්පත් තිබිලත් අනිත් අයගෙ දේවලට ඊර්ෂ්‍යා කරන සමහරක් මිනිස්සු ඉන්න සමාජෙක ඔහුගෙන් ඉගෙන ගන්න කොතරම් දේ තියෙනවද කියලා මට හිතුනා.. කතන්දර පොත්වල මුණගැසෙන සුන්දර චරිතයක් සැබෑ ලෝකෙදි හමු වුනා වගේ මට දැණුනා...
ගෙදරට එනකම් ඔහු තව ගොඩක් දේවල් කිව්වා.. ඒ කතාවලට මම හූමිටි තිබ්බේ උනන්දුවෙන්.. ඒ අදහස්වල ජීවිතයට ගන්න දෙයක් තියෙනවා කියලා මට හිතුණා....
හැමදාම වගේ තවත් රෝද තුනේ ජීවිතයක කතාවක් මට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කළා....

- චේතනා වික්‍රමසිංහ -

No comments:

Post a Comment

සරසවි පවුරෙන් මෙහා ලෝකයෙන්… හදිසියේ යන එන අතරමගදී මුණ ගැහෙන tuk tuk ජීවිතවල කතන්දර ලියල තියන්න ඕනේ කියන අදහස මගේ හිතේ පැලපදියම් වෙන්න හේත...