පියෙකුගේ සිතිවිලි...
වේලාව දහවල් දෙකට විතර ඇති. හදිසි අවශ්‍යතාවයක් නිසා ඉක්මනින් ගෙදර එන්න සුපුරුදු පරිදි ත්‍රිරෝද රථයක් ඇණවුම් කරන්න උත්සාහ කළා… නමුත් දුරකථනය හරහා ඇණවුම් කළ හැකි කිසිම ත්‍රීවිලර් එකක් ලඟපාත තිබුනෙ නැහැ… ඉතින් පාරෙ යන ත්‍රීවීල් එකකට අත දාලා නවත්තගන්න සිදුවුණා…
“ කොහෙටද මිස් යන්න ඕනේ?” රියදුරු ඇහුවා..
“ මොරටුවට යන්න පුලුවන්ද?”
මම සැකෙන් වගේ ඇහුවා.. මේ වෙලාවට බොහෝ රියදුරුවරු එච්චර දුර යන්න කැමති නැහැ..
“යමු යමු මිස්” ඔහු කිව්වා..
අපි එන්න පිටත් වුනා… මහමග පැවති තදබදය රියදුරුත් මාත් අතර සංවාදයක් ගොඩනඟන්න හේතු කාරණා සැපයුවා….
“ පුදුම හදිස්සියක්නෙ මිස් මේ මිනිස්සුන්ට තියෙන්නේ… හැමෝටම ඕනේ අනිත් එක්කෙනාට ඉස්සර කරලා යන්න.. විනාඩියක් අනිත් එක්කෙනා වෙනුවෙන් ඉවසන්න බැහැ…”
අපට ඉඩ නොදී වැරදි ලෙස ඉස්සර කරගෙන වේගයෙන් යන තවත් ත්‍රීවීල් එකකට ඉඩ දෙන්න රියේ වේගය අඩු කරන ගමන් අපේ රියදුරු කියනවා….
“මේ වෙලාවට ගොඩක් ත්‍රීවීල් යන්නෙ ඉස්කෝලේ දරුවා අරගෙන… ත්‍රීවීල් එක කියන්නෙ ඒතරම් සවි ශක්තිය තියෙන වාහනයක් නෙවෙයිනේ මිස්… පොඩ්ඩ බැරිවුනොත් පෙරලෙන්න බලනවා.. ලොකු වාහනයක හැප්පුනොත් අපිට අලාභ හානිය වැඩියි….”
“ ඒක නං ඇත්ත” මමත් ඔහුගේ කතාවට හූමිටි තිබ්බේ සීයට සීයක් ඔහුව අනුමත කරමින්… ත්‍රීවීල් විතරක් නෙවෙයි.. අද පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ සීමාව නොදැන ගිහින් කොච්චර නම් කරදරවලට මූන පානවද?
“ මම නං යන්නෙ මගේ වේගෙට.. අනිත් අය එක්ක රේස් යන්න මට බැහැ.. පැයට කිලෝමීටර් 50 කට වඩා වේගෙන් මම යන්නේ නැහැ මිස්.. ත්‍රීවීල් එකේ යන්න පුළුවන් වේගය මම දන්නවා… එකක් මම මගේ ත්‍රීවීල් එකට ආදරෙයි.. මගේ දරු පවුලට ආදරෙයි.. අනිත් එක මට ඒකෙ යන මිනිස්සුන්ව අනතුරේ දාන්න ඕනේ නැහැ..”
ඔහුගේ කතාව මාව පුදුමයට පත් කළා..
අවුරුදු ගණනාවක් ත්‍රීවීල්වල ගමන් කරලා බොහෝ රියදුරන් එක්ක කතා කරලා තිබුණත්.. මේ කතාව මං ඇහුවෙ ජීවිතේ පළවෙනි වතාවට මේ මැදිවියේ රියදුරාගෙන්…
පාරේදී තමන්ට ඉඩදෙන්නේ නැති බව කියමින් බොහෝ දෙනෙක් අනෙක් වාහනවලට දෝෂාරෝපණය කළත්, තමන් පදවන වාහනයේ සීමාවන් දැනගෙන ඒ බව නොබියව කතා කරන ත්‍රීරෝද රථ රියදුරෙක් මට මුණ ගැසුණාමයි…
අනවශ්‍ය සහ අනතුරුදායක ලෙස වේගයෙන් යන සමහර ත්‍රීවීල් රියදුරන්ට ‘ටිකක් හෙමින් යමු’ කිව්වම කේන්ති ගන්න හැටි මට මතක් වුණා…
“මිස් මුණගැහුණු එක හොඳයි.. මමත් මේ ලඟ… දැන් මම ගෙදරම යනවා… ආයෙත් කොළඹ එන්නේ නැහැ…” ටික දුරක් එද්දී ඔහු කියනවා..
“එතකොට බිස්නස්?” මම ඇහුවා..
“ බිස්නස් ම නෙමෙයිනේ මිස් ජීවතේ… මම දවස් හතම උදේ ඉඳන් රෑ වෙනකම් කොළඹ තමයි ඉන්නේ… මගේ දරුවෝ මාව දකින්නෙත් උදේටයි රෑටයි විතරයි… ඉතින් මෙහෙම ඉඩ ලැබිච්ච වෙලාවට මං ටිකක් වේලාසන ගිහින් ඒගොල්ලොත් එක්ක ඉන්නවා….” ඔහු සිනාසෙමින් කියනවා..
“ මට දුවලා දෙන්නෙක් ඉන්නවා මිස්… ඒ දෙන්නට සැප පහසුවට ජීවත් වෙන්න පුලුවන් විදියට මම හම්බ කරනවා… ඒත් ගෑනු දරුවො දෙන්නෙක් හදනකොට වගකීමක් තියෙනවනෙ… ඒක නිසා මම පුළුවන් තරම් ඒ ගොල්ලොත් එක්ක ඉන්න උත්සාහ ගන්නවා..ජීවත් වෙන්න හම්බ කළහම මදැයි නේද මිස්…? ”
“ ඒක ඇත්ත සල්ලිම නෙමේ නේ ජීවිතේ..” මම ඔහුට ඌනපූර්ණයක් සැපයුවා..
“ ලොකු දුව නම් ඉගෙන ගන්න ඒ හැටි උනන්දුවක් නෑ… ඒත් මං කොහොම හරි ඉස්කෝලේ යවනවා.. එක දවසක් වත් ගෙදර තියාගන්නේ නෑ… ටියුෂන් එක්කන් ගිහින් එක්කන් එනවා.. එයාට ගෙදරදි උගන්නන්න අපිට තේරෙන්නේ නෑ…ඒත් එයා ඉගෙන ගන්නවද කියලා තදින් හොයලා බලන බව අපි එයාට අඟවනවා…
එයා කම්පියුටර්වලට හරි ආසයි.. මම කියලා තියෙන්නේ සාමාන්‍ය පෙළ පාස් වුණොත් කම්පියුටර් ඉගෙන ගන්න යවනව කියලා…
හැමෝටම දොස්තරලා වෙන්න බෑනේ මිස්… එයාට පුළුවන් රස්සාවක් කරගෙන.. කාටවත් කරදර නොකර අනුන්ටත් උදව් කරගෙන හිටියොත් ඇති”
දෑතේ රස්සාවෙන් මහන්සිවෙලා දරුවන්ට උගන්වන මේ මැදිවියේ පියාට ඉහළ අධ්‍යාපන මට්ටමක් නැතුව ඇති.. ළමා මනෝවිද්‍යාව කියන වචනෙවත් ඔහු අහලා නැතුව ඇති.. ඒත් ඔහු ඔහුගේ දරුවව තේරුම් අරන් තියෙන හැටි... දරුවව අධ්‍යාපනයට පොළඹවන හැටි… සමහර උගත් දෙමව්පියන්වත් නොකරන තරම් ඉහළයි කියලා මට හිතුනා…
“ මගෙ පොඩි දූ නම් ඉගෙන ගන්න කැමතියි… තාම හය වසරේ ඉන්නේ.. එයා දොස්තර කෙනෙක් වෙන්න කැමතියි කිව්වා… මම එයාටත් මහන්සි වෙලා උගන්වනවා මිස්… එයාට ශිෂ්‍යත්වෙ නම් පාස් වෙන්න බැරි වුණා.. ඒකට කමක් නෑ.. ඉස්සරහ විභාග පාස් වෙයිනෙ…මං එයාට කියලා තියෙන්නේ ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙලා දුප්පත් අයට නොමිලේ බෙහෙත් දෙන්න කියලා… අද අපි බෙහෙත් ගන්න ගියාම දොස්තරලට කොච්චර ගානක් වියදම් කරන්න ඕනද මිස්…? දුප්පත් මිනිස්සු කී දාහක් ඉන්නවද එහෙම වියදම් කරන්න බැරි…
ඉතිං මං ආසයි මගේ දුව ඒ වගේ අයට නොමිලේ බෙහෙත් දෙනව නම්…”
මම අහගෙන ඉන්න බව දන්න නිසා ඔහු ඔහුගේ කතාව කියාගෙන යනවා…. ඔහුට හූමිටි තියන ගමන් මගේ හිත මාත් එක්කම දොඩමළු වුණා…
කොච්චර සොඳුරු අදහස් තියෙන තාත්තා කෙනෙක්ද…? ශිෂ්‍යත්වය අසමත් වුණු පමණින්ම දරුවා අදක්ෂයෙක් යැයි තක්සේරු කරන සමහර දෙමව්පියන් ඉන්න සමාජයක මේ තාත්තා තමන්ගේ දරුවව කොච්චර විශ්වාස කරනවද….?
අද හය වසරෙ ඉගෙන ගන්න ඒ දුවව දොස්තර කෙනෙක් කරන්න අනාගතේ කොච්චර ලොකු තරඟයකට ඉදිරිපත් කරන්න ඕනද කියලා ඒ තාත්ත දන්නෙවත් නැතුව ඇති… ඒත් ඔහු හිතන්නේ දොස්තර කෙනෙක් වෙලා දරුවාට ලැබෙන සමාජ තත්වයවත් සල්ලි ගැනවත් නෙමෙයි….. අසරණයන්ට පිහිට වෙන්න දරුවාට ලැබෙන අවස්ථාව ගැනයි… ඒ තාත්තගෙ ලස්සන හීනෙ එසේම සැබෑ වේවායි මම ඉත සිතින් පැතුවා…
තමන්ට ඇති තරමටත් වැඩියෙන් මිල මුදල්, සමාජ තත්ත්වය සහ සැප සම්පත් තියෙද්දිත් තව තවත් උපයන්න ජීවිතේ එක්ක රේස් දුවන අතරෙ ඒ රේස් එකේම තමන්ටත් වඩා ඉස්සරහින් දුවන්න දරුවන්ට බල කරන සමහර දෙමව්පියො ඉන්න යුගයක මෙවැනි පියවරුන් වාසනාවන් කියල මට හිතුනා….
No comments:
Post a Comment