Pages

Friday, 15 June 2018

සරසවි පවුරෙන් මෙහා ලෝකයෙන්…

හදිසියේ යන එන අතරමගදී මුණ ගැහෙන tuk tuk ජීවිතවල කතන්දර ලියල තියන්න ඕනේ කියන අදහස මගේ හිතේ පැලපදියම් වෙන්න හේතුකාරණා වෙච්ච කතන්දරයක් තමයි අද කියන්න යන්නේ…
මේ කතාවේ කතා නායකයා මං ගොඩක් කල් ඉඳන් හඳුනන ත්‍රීවීල් අංකල් කෙනෙක්..
සිසුවියක් සහ ආචාර්යවරියක් විදිහට ජපුර සරසවියේ ගතකරපු අවුරුදු දහයක විතර කාලසීමාව ඇතුළත මේ අංකල්ගෙ ත්‍රීවීල් එකේ මම බොහෝ වාර ගණනක් ගමන් කරලා ඇති…
ඒත් මගේ හිතේ පැලපදියම් වුණු මේ කතාබහ සිද්ධ වෙන්නේ අවුරුදු දෙකක විතර විරාමයකට පස්සේ මට හදිසියේ මේ ත්‍රීවීල් අංකල් මුණ ගැසීමත් එක්ක…

“ මිස් කාලෙකට පස්සේ.. දැන් මෙහෙ නෙමෙයිද වැඩ කරන්නේ?”
මම රථයට ගොඩ වුණු ගමන් ඔහු එක පාරටම ඇහුවා..
ඔහුගේ තියුණු මතකය ගැන මට පුදුමත් හිතුනා…

“ අංකල්ට මාව මතකයි නේද?”

“මොකද මිස් මට මතක නැත්තේ? මිස් ඉස්සර මාත් එක්ක නිතරම යනව එනව නේ..”

“දැන් අවුරුදු දෙකකින් විතර තමයි මම කැම්පස් එකට ආවේ… මං හිතුවේ නෑ අන්කල් මාව අඳුන ගනී කියලා…”

“මට මතකයි.. මං මිස්ව ගෙදරත් ගිහින් බස්සලා තියෙනවා නේ…” ඔහු සිනාසෙමින් කියනවා..
වැඩිදුර අධ්‍යාපනයට විදේශගතවීම සඳහා ජ'පුර සරසවියේ රැකියාවට සමුදුන් දවසේ මගේ පොත් පත් මිටිය ගෙදරට රැගෙන ගියෙත් අංකල්ගෙ ත්‍රිවිල් එකේ බව මට මතක් වුණා..

“ කැම්පස් එක ඇතුලේ සමහර අයටත් මාව අඳුනගන්න බැරි වුණා… ඒත් අංකල්ට මතකයි” මම සිනාසෙමින් කිව්වා…

“ මම එහෙම තමයි මිස්… මට මුණගැහෙන ගොඩක් අයව මට අමතක වෙන්නේ නැහැ.. ඒ වගේම තමයි ගොඩක් අයට මාව අමතක වෙන්නෙත් නැහැ….”
ඒකනම් ඇත්ත කියලා මටත් හිතුනා…

“මිස්ට කියන්න මේ ලගදි පුදුම සිද්ධියක් වුණා.. දැනට අවුරුදු කිහිපයකට උඩදී මේ කැම්පස් එකේ ඉගෙන ගත්ත පිරිමි ළමයෙක් හිටියා… සල්ලි අමාරු නිසා ඒ කාලේ මම පොඩි කෑම පැකට් බිස්නස් එකකුත් කළා.. ඉතින් මගෙන් තමයි ඒ ළමයා කෑම ගත්තේ.. සමහර දවස්වලට ණයටත් කෑම අරගෙන යනවා… මමත් ඉතින් ණයට කෑම දෙනවා… අමාරුවෙන් ඉගෙන ගත්ත දරුවෙක් බව මට පෙනුනා...කොහොමහරි මාසෙ අන්තිමට මට ණයත් බේරුවා… ටික කාලෙකින් මට අසනීප වෙලා කෑම බිස්නස් එකයි ත්‍රීවිල් රස්සාවයි දෙකම ටික දවසකට නැවතුණා…. ඊට පස්සේ මම මේ දරුවව දැක්කේ නැහැ..
මේ ළඟදී දවසක මම හදිස්සියෙන් මේ ළඟ තියෙන ටියුෂන් පන්තියකට හයර් එකක් ගියා… එතන මේ දරුවා හිටියා.. එයා එකපාරටම මාව අඳුන ගත්තා.. විස්තර කතා කරලා ‘එන්නකෝ අංකල් ටිකක් මාත් එක්ක’ කියලා මාව පඩිපෙලක් දිගේ උඩට එක්කන් ගියා… බලනකොට මේ ගිහිල්ල තියෙන්නෙ එයාගෙ ටියුෂන් ක්ලාස් එකට… ළමයි සියගානක් එතන ඉන්න ඇති… මේ දරුවා මාව ස්ටේජ් එක උඩට එක්කන් ගිහින් පන්තියට අඳුන්නලා දුන්නා…
‘මේ මං විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ මට හුඟක් උදව් කරපු අන්කල් කෙනෙක්… මේ අංකල්ගෙන් විතරයි මට ණයට කෑම ගන්න පුළුවන් වුණේ… අංකල් නැත්නම් සමහරවිට මම අද මෙතන නොඉන්නත් තිබුණා..’ කියලා මේ සර් පන්තියට කිව්වා… පන්තියෙ ළමයි හැමෝම අත්පුඩි ගැහුවා… මගේ ඇස් දෙකට කඳුළු ආවා මිස්.. ඒ මගේ ජීවිතේ මං ගොඩක්ම සතුටු වෙච්ච දවසක් … ඒවගේ නිහතමානී මිනිස්සුත් ඉන්නව මිස්”

ඔහුට හූමිටි තියන ගමන් ඒ කතාව ආසාවෙන් අහගෙන හිටපු මගේ හදවත ඇතුලෙනුත් කඳුළු නැඟුණා…
ඒ වගේ සොඳුරු අගයකිරීමක් ලද මේ මහලු රියදුරා කොතරම් සතුටු වෙන්නට ඇද්ද? අගය කිරීම් කියන්නේ බොහෝ විට ඔවුන්ට ඉතා කලාතුරකින් ලැබෙන දෙයක්..

“ ඉතිං කොහොමද අංකල් දැන් කැම්පස් එක ගොඩක් ලස්සන වෙලා නේද?” කතා බහ අතරතුර මම ඇහුවා.

“ඔව් මිස්.. අලුතින් ලස්සන කරලා හැදුවානේ.. අපිට ටික දවසකට බිස්නසුත් අඩු වුණා.. තාප්පෙ කඩනකොට අපිට වෙන තැනකට යන්න වුනානේ… ඒත් කමක් නෑ දැන් කැම්පස් එක ලස්සනයි… ඉස්සරට වඩා හරි පිළිවෙලයි නේද මිස්?”

ජීවිත කාලය පුරා ම ඔහුට හරි හම්බ කර ගන්න උදව් කරපු විශ්වවිද්‍යාලය ගැන ඔහු තුළ තිබෙන්නේ ආදරයක්… ඔහුගේ හඬේ තිබුණේ ලෙන්ගතු බවක්… හරියට තමන්ගෙ දෙයක් ගැන කතා කරනවා වගේ… තමන් සේවය කරන ආයතනය පිළිබඳවවත් හොඳක් නොකියන බොහෝ දෙනා ඉන්න රටක මේ වියපත් මිනිසාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා නේද කියලා මට හිතුනා…

විශ්වවිද්‍යාලය ගැන විතරක් නෙමෙයි ඒකෙ ඉගෙන ගන්න දරුවෝ ගැනත් ඔහුට කැක්කුමක් තියෙනව කියලා දැන ගත්තේ ඔහු සමග තව ටිකක් කතා කරද්දි…

“ මේ දවස්වලත් කැම්පස් එකේ පිකටින් එකක් යනව වගේ නේද අංකල්?” මම ඇහුවේ විශ්වවිද්‍යාලයේ ගේට්ටුව ඉස්සරහ සුපුරුදු දර්ශනයක් වුණු කළු කොඩි සහ සටන්පාඨ රැගත් පුවරු සහිත තාවකාලික හට් එකක් තුළ සිටි සිසු සිසුවියන් පිරිසක් එදත් දකින්න ලැබුණු නිසයි..

“ අනේ ඔව් මිස්… ඒ දරුවොත් පව්.. රැයක් දවාලක් නැතිව ඔතනට වෙලා ඉන්නවා… ඒත් එයාල කියන දේවල් අහන්න කවුරුහරි ඉන්නවද කියලා තමයි ප්‍රශ්නෙ.. ඒගොල්ලන්ගේ අරගලේ හරි වැරැද්ද කියන්න තරම් මම ඉගෙන ගෙන  නැහැ… ඒත් මේ ඉන්නෙ රටේම ඉන්න බුද්ධිමත්ම දරුවො ටිකනෙ මිස්… ඔය කාලෙ තවත් හොදට ඉගෙනීමට යෙදෙව්ව නම් හොඳයි කියල මට හිතෙනවා.. ඔතනට එන්න බැරුව කීදෙනෙක්නම් ළත වෙනවාද?”

ඔහු කියාගෙන යනවා.. හිතේ තෙරපෙන අදහස් දහසක් එක්ක මම ඔහුට තවත් කතා කරන්න ඉඩ දුන්නා…

“ කැම්පස් එකකට එන්න කොච්චර නම් අමාරුද මිස්? කීයෙන් කී දෙනාටද ඒ වාසනාව ලැබෙන්නේ? හැමදේම නොමිලේ ලැබෙනවනේ… ඒ අවස්ථාව ලැබෙන්නේ නැති ගොඩක් දරුවන්ගේ දෙමාපියන්ට තනියම වියදම් කරලා තමන්ගේ දරුවන්ට උගන්වන්න අමාරුයි.. මගේ දුවටත් කැම්පස් යන්න බැරි උනා මිස්… එයාව ප්‍රයිවට් කැම්පස් එකකට යවලා උගන්නන්න මට සල්ලි නැහැ.. දැන් එයා රස්සාවක් කරන ගමන් බාහිර උපාධිය කරනවා..
ඉතින් මේ දරුවෝ මේ ලැබිලා තියෙන අවස්ථාවෙන්  මීට වඩා ප්‍රයෝජනයක් ගන්නවා නම් කොච්චර හොඳද නේද මිස්?”
ඔහුගේ හඬ බොහොම සංවේදියි.. ඒ හඬේ තරහක් තිබ්බෙ නැහැ… තමන්ගෙ දරුවට නොලැබුණු අවස්ථාව හරිහැටි ප්‍රයෝජනයට ගන්නේ නැති සමහර විද්‍යාර්ථීන් ගැන තරහින් කතාකරන දෙමව්පියෝ මට මුණගැහිලා තියෙනවා… ඒත් මොහු ඊට වැඩිය වෙනස්... ඒ දරුවො වෙනුවෙන් ඉපැදුණු අවංක අනුකම්පාවක් ඔහු තුළ තිබුණු බව මට දැනුනා…
ඒත් එක්කම මේ තාත්තා ඇතුළු අපේ රටේ බොහොමයක් දෙමව්පියන්ගෙ මේ කතාව විශ්ව විද්‍යාලයේ තාප්පෙන් ඇතුළේ ඉන්න දරුවන්ට ඇහෙනවා නම් කියලා මට හිතුණා.. එතකොට ඔවුන් තමන්ට ලැබිලා තියෙන අවස්ථාවෙ වටිනාකම වඩාත් හොඳින් තේරුම් ගනීවි….

ඉතින් ඉස්සර වගේම පරිස්සමෙන් ඔහු මාව ගෙදර ගෙනත් බැස්සුවා… හැමදාම දකින දේවල් දිහා වෙනත් ඇසකින් බලන්න මට නිමිත්තක් ඉතුරු කරලා ඔහු යන්න ගියා.. අපට මඟ තොටදී හමුවන අප්‍රසිද්ධ මිනිස්සු ලඟ තියන මේ සොඳුරු අදහස් කවදහරි අකුරු කරන්න ඕනෑ කියන හැඟීම මට මුලින්ම දැනුනේ එදා… ඉතින් අද මම ඒ හැඟීම් වචන බවට පත් කළා..
ඉතිරිය ඔබට බාරයි.. කියවන්න…. විඳින්න… ඔබේ අදහස් දක්වන්න… මේ තවත් Tuk Tuk ජීවිත කතාවක්...


Monday, 11 June 2018


පියෙකුගේ සිතිවිලි...


වේලාව දහවල් දෙකට විතර ඇති. හදිසි අවශ්‍යතාවයක් නිසා ඉක්මනින් ගෙදර එන්න සුපුරුදු පරිදි ත්‍රිරෝද රථයක් ඇණවුම් කරන්න උත්සාහ කළා… නමුත් දුරකථනය හරහා ඇණවුම් කළ හැකි කිසිම ත්‍රීවිලර් එකක් ලඟපාත තිබුනෙ නැහැ… ඉතින් පාරෙ යන ත්‍රීවීල් එකකට අත දාලා නවත්තගන්න සිදුවුණා…

“ කොහෙටද මිස් යන්න ඕනේ?” රියදුරු ඇහුවා..

“ මොරටුවට යන්න පුලුවන්ද?”
මම සැකෙන් වගේ ඇහුවා.. මේ වෙලාවට බොහෝ රියදුරුවරු එච්චර දුර යන්න කැමති නැහැ..

“යමු යමු මිස්” ඔහු කිව්වා..

අපි එන්න පිටත් වුනා… මහමග පැවති තදබදය රියදුරුත් මාත් අතර සංවාදයක් ගොඩනඟන්න හේතු කාරණා සැපයුවා….

“ පුදුම හදිස්සියක්නෙ මිස් මේ මිනිස්සුන්ට තියෙන්නේ… හැමෝටම ඕනේ අනිත් එක්කෙනාට ඉස්සර කරලා යන්න.. විනාඩියක් අනිත් එක්කෙනා වෙනුවෙන් ඉවසන්න බැහැ…”

අපට ඉඩ නොදී වැරදි ලෙස ඉස්සර කරගෙන වේගයෙන් යන තවත් ත්‍රීවීල් එකකට ඉඩ දෙන්න රියේ වේගය අඩු කරන ගමන් අපේ රියදුරු කියනවා….

“මේ වෙලාවට ගොඩක් ත්‍රීවීල් යන්නෙ ඉස්කෝලේ දරුවා අරගෙන… ත්‍රීවීල් එක කියන්නෙ ඒතරම් සවි ශක්තිය තියෙන වාහනයක් නෙවෙයිනේ මිස්… පොඩ්ඩ බැරිවුනොත් පෙරලෙන්න බලනවා.. ලොකු වාහනයක හැප්පුනොත් අපිට අලාභ හානිය වැඩියි….”

“ ඒක නං ඇත්ත” මමත් ඔහුගේ කතාවට හූමිටි තිබ්බේ සීයට සීයක් ඔහුව අනුමත කරමින්… ත්‍රීවීල් විතරක් නෙවෙයි.. අද පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ සීමාව නොදැන ගිහින් කොච්චර නම් කරදරවලට මූන පානවද?

“ මම නං යන්නෙ මගේ වේගෙට.. අනිත් අය එක්ක රේස් යන්න මට බැහැ..  පැයට කිලෝමීටර් 50 කට වඩා වේගෙන් මම යන්නේ නැහැ මිස්.. ත්‍රීවීල් එකේ යන්න පුළුවන් වේගය මම දන්නවා… එකක් මම මගේ ත්‍රීවීල් එකට ආදරෙයි.. මගේ දරු පවුලට ආදරෙයි.. අනිත් එක මට ඒකෙ යන මිනිස්සුන්ව අනතුරේ දාන්න ඕනේ නැහැ..”
ඔහුගේ කතාව මාව පුදුමයට පත් කළා..
අවුරුදු ගණනාවක් ත්‍රීවීල්වල ගමන් කරලා බොහෝ රියදුරන් එක්ක කතා කරලා තිබුණත්.. මේ කතාව මං ඇහුවෙ ජීවිතේ පළවෙනි වතාවට මේ මැදිවියේ රියදුරාගෙන්…
පාරේදී තමන්ට ඉඩදෙන්නේ නැති බව කියමින් බොහෝ දෙනෙක් අනෙක් වාහනවලට දෝෂාරෝපණය කළත්,  තමන් පදවන වාහනයේ සීමාවන් දැනගෙන ඒ බව නොබියව කතා කරන ත්‍රීරෝද රථ රියදුරෙක් මට මුණ ගැසුණාමයි…

අනවශ්‍ය  සහ අනතුරුදායක ලෙස වේගයෙන් යන සමහර ත්‍රීවීල් රියදුරන්ට ‘ටිකක් හෙමින් යමු’ කිව්වම කේන්ති ගන්න හැටි මට මතක් වුණා…

“මිස් මුණගැහුණු එක හොඳයි.. මමත් මේ ලඟ… දැන් මම ගෙදරම යනවා… ආයෙත් කොළඹ එන්නේ නැහැ…” ටික දුරක් එද්දී ඔහු කියනවා..
“එතකොට බිස්නස්?” මම ඇහුවා..

“ බිස්නස් ම නෙමෙයිනේ මිස් ජීවතේ… මම දවස් හතම උදේ ඉඳන් රෑ වෙනකම් කොළඹ තමයි ඉන්නේ… මගේ දරුවෝ මාව දකින්නෙත් උදේටයි රෑටයි විතරයි… ඉතින් මෙහෙම ඉඩ ලැබිච්ච වෙලාවට මං ටිකක් වේලාසන ගිහින් ඒගොල්ලොත් එක්ක ඉන්නවා….”  ඔහු සිනාසෙමින් කියනවා..

“ මට දුවලා දෙන්නෙක් ඉන්නවා මිස්… ඒ දෙන්නට සැප පහසුවට ජීවත් වෙන්න පුලුවන් විදියට මම හම්බ කරනවා… ඒත් ගෑනු දරුවො දෙන්නෙක් හදනකොට වගකීමක් තියෙනවනෙ… ඒක නිසා මම පුළුවන් තරම් ඒ ගොල්ලොත් එක්ක ඉන්න උත්සාහ ගන්නවා..ජීවත් වෙන්න හම්බ කළහම මදැයි නේද මිස්…? ”

“ ඒක ඇත්ත සල්ලිම නෙමේ නේ ජීවිතේ..” මම ඔහුට ඌනපූර්ණයක් සැපයුවා..

“ ලොකු දුව නම් ඉගෙන ගන්න ඒ හැටි උනන්දුවක් නෑ… ඒත් මං කොහොම හරි ඉස්කෝලේ යවනවා.. එක දවසක් වත් ගෙදර තියාගන්නේ නෑ… ටියුෂන් එක්කන් ගිහින් එක්කන් එනවා.. එයාට ගෙදරදි උගන්නන්න අපිට තේරෙන්නේ නෑ…ඒත් එයා ඉගෙන ගන්නවද කියලා තදින් හොයලා බලන බව අපි එයාට අඟවනවා…
එයා කම්පියුටර්වලට හරි ආසයි.. මම කියලා තියෙන්නේ සාමාන්‍ය පෙළ පාස් වුණොත් කම්පියුටර් ඉගෙන ගන්න යවනව කියලා…
හැමෝටම දොස්තරලා වෙන්න බෑනේ මිස්… එයාට පුළුවන් රස්සාවක් කරගෙන.. කාටවත් කරදර නොකර අනුන්ටත් උදව් කරගෙන හිටියොත් ඇති”

දෑතේ රස්සාවෙන් මහන්සිවෙලා දරුවන්ට උගන්වන මේ මැදිවියේ පියාට ඉහළ අධ්‍යාපන මට්ටමක් නැතුව ඇති.. ළමා මනෝවිද්‍යාව කියන වචනෙවත් ඔහු අහලා නැතුව ඇති.. ඒත් ඔහු ඔහුගේ දරුවව තේරුම් අරන් තියෙන හැටි... දරුවව අධ්‍යාපනයට පොළඹවන හැටි… සමහර උගත් දෙමව්පියන්වත් නොකරන තරම් ඉහළයි කියලා මට හිතුනා…

“ මගෙ පොඩි දූ නම් ඉගෙන ගන්න කැමතියි… තාම හය වසරේ ඉන්නේ..  එයා දොස්තර කෙනෙක් වෙන්න කැමතියි කිව්වා… මම එයාටත් මහන්සි වෙලා උගන්වනවා මිස්… එයාට ශිෂ්‍යත්වෙ නම් පාස් වෙන්න බැරි වුණා.. ඒකට කමක් නෑ.. ඉස්සරහ විභාග පාස් වෙයිනෙ…මං එයාට  කියලා තියෙන්නේ ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙලා දුප්පත් අයට නොමිලේ බෙහෙත් දෙන්න කියලා… අද අපි බෙහෙත් ගන්න ගියාම දොස්තරලට කොච්චර ගානක් වියදම් කරන්න ඕනද මිස්…? දුප්පත් මිනිස්සු කී දාහක් ඉන්නවද එහෙම වියදම් කරන්න බැරි…
ඉතිං මං ආසයි මගේ දුව ඒ වගේ අයට නොමිලේ බෙහෙත් දෙනව නම්…”

මම අහගෙන ඉන්න බව දන්න නිසා ඔහු ඔහුගේ කතාව කියාගෙන යනවා…. ඔහුට හූමිටි තියන ගමන්  මගේ හිත මාත් එක්කම දොඩමළු වුණා…
කොච්චර සොඳුරු අදහස් තියෙන තාත්තා කෙනෙක්ද…?  ශිෂ්‍යත්වය අසමත් වුණු පමණින්ම දරුවා අදක්ෂයෙක් යැයි තක්සේරු කරන සමහර දෙමව්පියන් ඉන්න සමාජයක මේ තාත්තා තමන්ගේ දරුවව කොච්චර විශ්වාස කරනවද….?

අද හය වසරෙ ඉගෙන ගන්න ඒ දුවව දොස්තර කෙනෙක් කරන්න  අනාගතේ කොච්චර ලොකු තරඟයකට ඉදිරිපත් කරන්න ඕනද කියලා ඒ තාත්ත දන්නෙවත් නැතුව ඇති… ඒත් ඔහු හිතන්නේ දොස්තර කෙනෙක් වෙලා දරුවාට ලැබෙන සමාජ තත්වයවත් සල්ලි ගැනවත් නෙමෙයි….. අසරණයන්ට පිහිට වෙන්න දරුවාට ලැබෙන අවස්ථාව ගැනයි… ඒ තාත්තගෙ ලස්සන හීනෙ එසේම සැබෑ වේවායි මම ඉත සිතින් පැතුවා…  

තමන්ට ඇති තරමටත් වැඩියෙන් මිල මුදල්, සමාජ තත්ත්වය සහ සැප සම්පත් තියෙද්දිත්  තව තවත් උපයන්න ජීවිතේ එක්ක රේස් දුවන අතරෙ ඒ රේස් එකේම තමන්ටත් වඩා ඉස්සරහින් දුවන්න දරුවන්ට බල කරන සමහර දෙමව්පියො ඉන්න යුගයක මෙවැනි පියවරුන් වාසනාවන් කියල මට හිතුනා….

Saturday, 2 June 2018

සොඳුරු සිතැති රියැදුරාණෝ....


මේ කතාව ටික කලකට ඉහතදී සිදුවුණු දෙයක්...
සතියෙ දවසක්.. වෙලාව සවස හතරට විතර ඇති...
ගෙදර එන්න පොඩි හදිසියක් තිබුණු නිසා සුපුරුදු පරිදි ත්‍රිරෝද රථයක් විශ්වවිද්‍යාලය අසලටම ගෙන්ව ගෙන එන්න පිටත්වුණා..
හැමදාම වගේ පාර තොටේ සාමාන්‍ය විස්තර ගැන රියදුරු සමග දොඩමළු වෙමින් ආවා..
දෙහිවල හරිය පහු කරද්දි එක පාරටම අතුරු පාරකින් ආපු ත්‍රීවීල් එකක් අපේ වාහනේ ඉස්සරහින් පාරට දැම්මා..
අපේ රියදුරු මහත්තය ලොකු උත්සාහයක් දරලා වාහනේ අයින් කරගෙන සිදු වෙන්න ගිය අනතුර වළක්වගත්ත...
අනෙක් වාහනේ රියදුරු ගැන කේන්තියක් මගේ හිතෙත් ඇති වුණා..
" කොහෙ යනවද මන්දා" මම නොරිස්සුමින් හිතුවා... අපේ රියදුරු මහත්තයාටත් තරහ යන්න ඇති..
පාරෙතොටේ තියෙන අත්දැකීම් එක්ක දැන් දැන් වචන හුවමාරුවක් ඇති වෙයි කියලා බලාපොරොත්තුවෙන් මං ඔහුගේ මූණ බැලුවා...
ඒත් නැහැ. හෝන් එක ගහල අනෙක් වාහනේ රියදුරුට සුහදතාව පළ කරපු අපේ රියදුරු මහත්තයා හෙමින් වාහනේ ඉස්සරහට ගත්තා...
" හැමෝටම හදිස්සියිනෙ මිස්.. මං නං ඔය වගේ වෙලාවට හදිස්සි අයට ඉඩ දෙනවා... එයාලට ඉක්මනට යන්න දීල මගේ පාඩුවේ මම යනවා..."
ඔහු හිනාවෙමින් කියනවා... මම පුදුම වුණා... අනෙක් ත්‍රීවීල් රියදුරු ගැන මම හිතපු දේ වචනවලට පෙරලුවේ නැත්තෙ හොඳ වෙලාවට කියලා මට හිතුණා..
"ඒකත් ඇත්ත.. එහෙම නැතුව දැන් මේ පාරවල්වල යන්න අමාරුයි.. "
ඉවසීම ගැන ඔහුගෙන් ඉගෙන ගත්ත පාඩම මම හිතේ ධාරණය කරගනිමින් මම කිව්වා...
"ඕවා මොනවද මිස්... අපට ජීවිතේ කඩා වැටෙන්න කොච්චර දේවල් වෙනවද? මිස්ට කියන්න මම හොඳට බිස්නස් කරපු සල්ලි අතගාපු කෙනෙක්.. මම කළේ මැණික් බිස්නස්.. කෝටි ගණන් අතගාල ඇති.. ඒත් එකපාරටම නොහිතපු විදියට බිස්නස් කඩාගෙන වැටුණා... ඉතින් මොනව කරන්නද මිස්... මම ත්‍රීවිල් එකක් අරගෙන පාරට බැස්සා...
ඔහු දිග කතාවක් කියන්න පටන් ගත්තා...
"මගේ වයිෆ් ගුරුවරියක්.. සාමාන්‍ය පඩියක් ගන්නවා.. ඒත් මම කවදාවත් එයාගෙ සල්ලි ගන්නෙ නැහැ.. එයාගේ හැම වියදමක්ම කරන්නේ මම.. මම ආස එහෙම කරන්න.. එයාගෙ සල්ලි ඉතුරු කරගන්න දෙන්න ඕනෙ.. මම ඉන්නකම් එයාට කන්න බොන්න දීලා හොඳට බලාගන්න ඕනෙ... "
ඔහු කොතරම් සුන්දර ආදරණීය මිනිසෙක් දැයි මට හිතුනා... ඉතින් ඔහු දිගටම කතා කළා..
" මගේ වයිෆ් හරිම හොඳයි මිස්.. මගේ බිස්නස් වැටුණම එයා මට ලොකු හයියක් වුණා...මම සල්ලි තියෙන කාලෙ එයාව ඩුබායි එක්ක ගිහින් අරන් දුන්නු රත්තරන් බඩු ඔක්කොම එයා මට ආපහු දුන්නා විකුණලා සල්ලි ගන්න කියලා... ඒ සල්ලිවලින් තමයි මම ණය බේරලා ත්‍රීවීල් එක ගත්තෙ.. එයා නොහිටින්න මං අද මෙහෙම ඉන්න එකකුත් නැහැ.. "
තමන්ගෙ බිරිඳගෙ හොඳ පවුලේ අය එක්ක වත් කියන්නේ නැති සමහර පිරිමි ඉන්න රටේ, නන්නාදුනන මං එක්ක තමන්ගෙ බිරිඳව වර්ණනා කරන මේ අපූරු සැමියා ගැන මට පුදුම හිතුණා..
" මිස්ට කියන්න දැන් තමයි මම මගේ ජීවිතේ සතුටින්ම ගතකරන්නෙ.. සල්ලි ගොඩක් අතගාපු කාලෙට වැඩිය හරි ෆිට් එකෙන් මං දැන් වැඩ කරන්නෙ... දෑතේ මහන්සියෙන් අමාරුවෙන් හම්බ කළාම සතුට වැඩියි මිස්.. දැන් මගේ නෝන මට ඉස්සරටත් වැඩිය ගොඩක් ආදරෙයි...
හවසට මහන්සි වෙලා ගෙදර ගියාම එයා මගේ ලඟට ඇවිත් හරි ආදරෙන් කතා කරනවා...
ඒ මම වෙනදට වැඩිය මහන්සි වෙනවා කියලා දන්න හින්දා.. මට වුණු දේ ගැන කලකිරෙන්න මගේ නෝනට මං කවදාවත් ඉඩ තිබ්බෙ නෑ.. 'මොනවා නැති වුනත් කමක් නෑ මට ඔයාව නැති වුණේ නෑනේ... අපි කොහොම හරි ජීවත් වෙමු' කියලා මං එයාට කිව්වා... "
මේ සොඳුරු සැමියගෙ අව්‍යාජ කතාව මගේ හිතට පුදුම හැගීමක් ගෙනාව... අගහිඟකම් ඉස්සරහ දොරෙන් ගෙට එනකොට ආදරේ පෑල දොරින් පලා ගිය නිසා විසිරුණු පවුල් කීයක් මේ ලෝකෙ ඇත්ද? එහෙම බලනකොට මේ පවුල කොච්චර වාසනාවන්තද?
ඇත්තටම බැලුවොත් ඔහුට කිසි දෙයක් නැති වෙලා නෑ... වටිනාම සියලුම දේ ඔහු ළඟ ඉතිරි වෙලා.. විශේෂයෙන්ම ඔහුගේ රත්තරං වටින ධෛර්යවන්ත හදවත..
අපි හැමදාම කතා කරන.. සමහර වෙලාවට සල්ලි දීලත් ලබා ගන්න උත්සාහ කරන 'ධනාත්මක චින්තනය' පිළිබද ගැඹුරු ප්‍රායෝගික පාඩමක් මම මේ මහමගදී අහම්බෙන් මුණගැහුණු අපූරු මනුස්සයාගෙන් ඉගෙන ගත්තා..
කතාවෙන් කතාව අපි තවත් ටික දුරක් ආවා...
පාර අයිනේ සුඛෝපභෝගී පන්නයේ වාහනයක් නවත්තලා තියෙනවා.... කීපදෙනෙක් ඒ වටේ වටවෙලා.. අපේ රියදුරු මහත්තයා වේගය අඩු කරමින් අර වාහනය දිහාවට කර පොවල බැලුවා..
"මොකද වෙලා තියෙන්නෙ? කරදරයක්ද?" ඔහු අර වාහනේ රියදුරුගෙන් විමසුවා.
කරදරයක් නැති බවත්, හදිසි වැඩකට එතැන නතර කර ඇති බවත් අනෙක් වාහනයේ රියදුරු කියනවා ඇහුණා.. අපි ආපහු එන්න පිටත් වුණා...
" ඒ මගේ නෝනගේ මල්ලි මිස්.. එයාලට නම් අඩුපාඩුවක් නෑ.. දෙවියනේ කියලා බිස්නස් කරගෙන හොඳින් ඉන්නවා.. ඒත් ඉතිං කරදරේකදි අපි හොයල බලන්න එපැයි.. ඒකයි මං නතර කරලා ඇහුවෙ.. " ඔහු කියනවා..
ඔහුට හූමිටි තියන ගමන් මං සිතුවිලි අතර අතරමං වුනා...
තමන්ට ඇති තරම් සැප සම්පත් තිබිලත් අනිත් අයගෙ දේවලට ඊර්ෂ්‍යා කරන සමහරක් මිනිස්සු ඉන්න සමාජෙක ඔහුගෙන් ඉගෙන ගන්න කොතරම් දේ තියෙනවද කියලා මට හිතුනා.. කතන්දර පොත්වල මුණගැසෙන සුන්දර චරිතයක් සැබෑ ලෝකෙදි හමු වුනා වගේ මට දැණුනා...
ගෙදරට එනකම් ඔහු තව ගොඩක් දේවල් කිව්වා.. ඒ කතාවලට මම හූමිටි තිබ්බේ උනන්දුවෙන්.. ඒ අදහස්වල ජීවිතයට ගන්න දෙයක් තියෙනවා කියලා මට හිතුණා....
හැමදාම වගේ තවත් රෝද තුනේ ජීවිතයක කතාවක් මට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කළා....

- චේතනා වික්‍රමසිංහ -

සරසවි පවුරෙන් මෙහා ලෝකයෙන්… හදිසියේ යන එන අතරමගදී මුණ ගැහෙන tuk tuk ජීවිතවල කතන්දර ලියල තියන්න ඕනේ කියන අදහස මගේ හිතේ පැලපදියම් වෙන්න හේත...